Breaking News

ෆේස්බුක් හරහා ලව් එකක් හරියකට ගොඩදාගන්න මෙන්න අපෙන් උපදෙස් 7ක්

ඉස්සර පංසලේදී, බස් එකේදී ඇහැට ඇහැ දීලා, පස්සේ ලියුමක් එහෙමත් දීලා ගොඩදාගත්තු ප්‍රේමේ දැන් සෑහෙන්න ඩිජිටල් වෙලා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සෑහෙන්න දෙනෙක් මේ කාලේ ඔන්ලයින් ඩේටින්ග් වල පිහිට පතනවා. හැබැයි ෆේස්බුක් කියන්නේ ඔන්ලයින් ඩේටින්ග් සයිට් එකක් නොවුණත්, ෆේස්බුක් හරහා ගොඩගියපු ලව් ගණනින් අනන්තයි. හැබැයි ඒ වගේම තමයි ලව් එක ඉලව් කරගෙන කෙළෝගත්තු ෆේස්බුක් ආදර කතන්දරත් අනන්තයි අප්‍රමාණයි. හරි. ෆේස්බුක් කියන්නේ මේ අලුත් ලෝකේ මිනිස්සුන්ට එකිනෙකාව මුණගැහෙන්න තියෙන තැනක් කියන එක අපි පිළිගන්නවානේ. එහෙමනම් ෆේස්බුක් එක හරහා ආදර මෙව්වා එකක් ගොඩදාගන්න එකේත් කිසිම ගැටළුවක් නැහැ. හැබැයි ගැටළුව මතුවෙන්නේ වැඩේ හරියට කරන්න දන්නෙ නැති වුනහම. ආන්න ඒ නිසා අපි ලැහැස්තියි දැයේ දුවා දරුවන්ට ෆේස්බුක් හරහා ලව් එකක් ඕන නං, ඒක හරියකට කරගන්නේ කොහොමද කියන එක ගැන උපදෙස් ටිකක් ලබාදෙන්න.

1. මොකාද මූ?

මෙන්න මේක තමයි මේ පොයින්ට් වලින් අතිශයින්ම වැදගත් කාරණාව. හරි ෆේස්බුක් වේවා නැතා ඕනම මංගල්ලෙක වැදගත්ම කාරණාව වෙන්නේ මේක. ඒ තමයි සත්වයා කවුද කියන එක. ෆේස්බුක් එකේ ඕනම කෙනෙක්ට තමන් ගැන ඕනම චිත්‍රයක් මවලා පෙන්නන්න පුලුවන් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. අන්න ඒ නිසා ෆේස්බුක් එකේ කවුරුහරි ගැන ආදර හැඟීමක් පහළ වුනොත් වඩාත් හොඳ දේ තමයි ඇත්තටම මේ පෙන්නන කෙනාද කියන එක ගැන හොයලා බලන එක. ඒක ඉතින් කරන්න පුලුවන් පොඩ්ඩක් ප්‍රොෆයිල් එකට ගිහින් ඩිටෙක්ටිව් හැකියාවන් පාවිච්චි කරලා ෆොටෝස් වලින් හොයාගන්න පුලුවන් ඩීටේල් හොයලා, මියුචුවල් ඉන්න කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් කෙනා ගැන අහලා එහෙම. ඇත්තම කතාව තමයි සත්වයාව සියේට අසූවක්වත් හරියට අඳුනගන්න නම් ෆේස්බුක් එකෙන් බෑ. ඒක ගැන අපි ඊලඟට කියනවා.


2. චැට් එකෙන් ලව් නොකරනු


මෙන්න මේක තමයි ඊලඟට වැදගත් කාරණාව. ෆේස්බුක් එකෙන් මුණගැහිලා, චැට් එකෙන් දෙන්නට දෙන්නා අඳුනගත්තා කියලා ලව් එක පටන් ගන්න යන්න එපා. කොයි තරම් එයාට කැමතියි කියලා හිත කිව්වත් බොහොම දැඩි වාරණයක් හිතට පනවා ගන්න, ඇත්ත ජීවිතේ හම්බුවෙලා ඇත්තට දැන අඳුනගන්නේ නැතුව ඉස්සරහට යන්න සිග්නල් ලයිට් දාන්නෙ නැහැයි කියලා. හේතුව සරලයි. ඔය ගොඩක් වෙලාවට චැට් කරලා ලව් එක දෙල් මෝරනවා වගේ මෝරලා ගියාට පස්සේ ඇත්තට මුණගැහෙන කපල්, පළවෙනි ඩේට් එකෙන් පස්සෙම හිමීට මාරු වෙලා යනවා. ඒක ගැන ඊලඟට කතා කරමු.


3. ෆොටෝ සෝප් ගාලා

අපි කාටහරි ලව් කරන්නේ සමහර විට ඇත්තට දැකලා නොවුණත්, ඔය පෙනුම කියන එක අනිවා වැදගත් වෙන දෙයක්නේ. මොකද රූපසුන්දරියෝ හරි නළුවෝ වගේ හැන්ඩියෝ හරි හෙව්වෙ නැතත් අඩු ගාණේ පාරේ ගෙනියන්න පුලුවන් කෙල්ලෙක්ව කොල්ලෙක්වනේ ඕන කෙනෙක් යාලුකරගන්න කැමති. ආන්න එතනදී ෆේස්බුක් ලව් එකක් පීළි පනින්න පුලුවන්. ඇයි? දැන් ඔය අලුත්ම ස්මාට්ෆෝන් වල කැමරාවේ තියෙනවා බියුටි ‍ෆිල්ටර්ස්. ඒ කියන්නේ සෙල්‍ෆිය ගහන්න කලින්ම බියුටි ලෙවල් එක හදාගන්න පුලුවන්. ඒකෙන් අර මූණුවල තියෙන පැච් එහෙම වහලා, ෆොටෝ එකට පොඩි ඩ්‍රීමි ලුක් එකක් ලබාදෙනවා. දැන් ඕවා නැතත් කෙල්ලෝ කොල්ලෝ ගන්න සෙල්‍ෆි ෆෝන් එකෙන් හරි එඩිට් කරලනේ ෆේස්බුක් දාන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඔය අයියලා නංගිලා චැට් වලට සෙට් වෙන්නේ ඔය වගේ ෆොටෝ වල තියෙන ඒන්ජල් ලුක් එකට ‍රැවටිලා කියන එක බොරු නෙවෙයි. හැබැයි ඉතින් එහෙම ලව් කරලා ඇත්තට මුණගැහුනට පස්සේ පෙනුම අවුල් නං, ෂේප් එකේ පළවෙනි ඩේට් එකෙන්ම මාරු වෙන අයියලා නංගිලා ඕන තරම් ඉන්නවා. ආන්න ඒ නිසා හොඳම දේ තමයි ඇත්ත ජීවිතේ මුණගැහෙනකල් ලව් එක මෝරන්න ඉඩ නොතියන එක.


4. ලව් එක ෆේස්බුක් එකේ නොදාන්න

දැන් ඔය ෆේස්බුක් ඩ්‍රාමා කියන්නේ. ඒ කියන්නේ මෙහෙම දේවල්. ඔන්න දෙන්නෙක් ෆේස්බුක් එකෙන් ලව් එකක් පටන් ගන්නවා. දැන් ඒ ලව් එක දෙගොඩතලා යන්නේ ෆේස්බුක් වෝල් එකේ. දැන් ඕකට විෂ් කරන්න වගේම කෙළවන්නත් ඕන තරම් මිනිස්සු ඉන්නවා. අනික සමහර වෙලාවට එහාට මෙහාට ගිනි තියන්න දක්ෂ ඩයලුත් මේ වගේ වැඩ පටන් ගන්නවා. අන්තිමට එක්කෝ ඉන්බොක්ස් මැසේජස්, ස්ක්‍රීන් ෂොට් අනං මනං වෙඩි උණ්ඩ වගේ එහාට මෙහාට ගිහිල්ලා ලව් එක කැඩෙනවා. ඒ නැතත් මොකක් හරි නොගැලපීමක් හින්දා ලව් එකට තිත තියන්න වුනත්, ඉන් පස්සේ මෙච්චර කල් තමන්ගේ ලව් ටීටර් එක බලාගෙන හිටපු එවුන්ට කරුණු පහදන්න වෙනවා. බලනකොට තමන්ගේ ආදර ජීවිතේ තුන්ලෝකේම දැනගෙන ඉඳලා. ඒ නිසා ෆේස්බුක් එකෙන් අඳුනගත්තත් කමක් නෑ ලව් එක ෆේස්බුක් ස්ටේට්ස් වලින් දුවවන්නේ නැතුව ඉන්න දැනගන්න ඕන.


5. ලෝන්ග් ඩිස්ටන්ස්

ෆේස්බුක් එකෙන් පටන් අරගෙන ලව් කෙළවෙන එක තැනක් තමයි ලෝන්ග් ඩිස්ටන්ස් ලව්, ඒ කියන්නේ එයා ලෝකේ එහා කොණේ මම මෙහා කොණේ හැබැයි අපේ ලව් එක ෆේස්බුක් කොණේ කියලා යන ලව්. මේක ප්‍රශ්නයක් නෑ එක පාරක් හරි දෙපාරක් හරි වත් මුණගැහිලා, ඉන් පස්සේ ලව් එක පවත්වගෙන යන්න ෆේස්බුක් එක මාධ්‍යයක් විදියට පාවිච්චි කළාට. හැබැයි එහෙම නැතුව ජීවිතේට දැකලා නැති මනුස්සයෙක්ව ෆේස්බුක් එකෙන් අඳුනගෙන, රටවල් දෙකක ඉඳන් ෆේස්බුක් හරහාම හනිමූන් යන තැනට එනකල් ලව් ඩිවලොප් කරන එක අසාර්ථක වෙන්න ඉඩ වැඩියි විතරක් නෙවෙයි, භයානක වෙන්නත් පුලුවන්. අමුතුවෙන් කියන්න ඕන නැහැනේ අපිට අහන්න ලැබෙන දේවල් ගැන.


6. අවංකකම දෙපැත්තටම

මෙන්න මේක ෆේස්බුක් හරහා කරන ලව් එකකට විතරක් නෙවෙයි, වෙන ඕන ක්‍රමේකට පටන් ගන්න ලව් එකකට අනිවා අදාළ කාරණාවක්. අවංකකම. හැබැයි ෆේස්බුක් හරහා දැන අඳුනගෙන ලව් එකකට යනවා නං මේක අනිවා තියෙන්න ඕන අවශ්‍ය ප්‍රමාණයට. මොකක්ද ඒ හරුපේ තේරුම? මෙහෙමයි. එකක්, අද හායි කියලා හෙට “යූ ආර් හැන්ඩ්සම්” කියලා ෆොටෝ එකට කමෙන්ට් එකක් දැම්ම පලියට ආතගේ මුත්තගේ ඉඳන් විස්තර කියන අවංක කම හරියන්නෙ නෑ. මුලින් දෙන්නට දෙන්නා අඳුනගන්නකොට අවශ්‍ය මූලික විස්තර විතරක් කියලා තියෙන එක හොඳටම ඇති. එතනින් එහාට ක්‍රම ක්‍රමයෙන් සබඳතාවය වර්ධනය වෙනකොට, අනික් කෙනාගේ අවංකකම ගැන බොහොම තියුණු නිරීක්ෂණයක ඉන්න අතරේම තමන්ගේ විස්තරත් අවංකව කිවුවට කමක් නෑ. හැබැයි මේ අවංකව කියන්න ඕන ඉස්සරවෙලා යාලුවෙලා හිටපු කොල්ලගේ විස්තරයි අරකයි මේකයි  ගැන නෙවෙයි. හැබැයි තමන්ගේ පසුබිම් විස්තර ගැන බොරු කියන එක, තමන් මේ වෙනකොට සම්බන්ධතාවයක ඉන්නවද නැද්ද වගේ කරුණු කාරණා ගැන බොරු කියන එක ඒ තරම් නුවණට හුරු නැහැ.


7. ගනුදෙනු තියාගන්න එපා


මෙන්න මේක බොහෝම වැදගත් දෙයක්. ෆේස්බුක් එක හරහා ලව් එක දෝරෙ ගලාගෙන ගිහින් මී මැස්සෝ රොන් ගෙනියන්න එන ලෙවල් එකට ආවත් යම් යම් සීමාවන් තියෙන්න ඕන. ඒ එකක් තමයි මූල්‍යමය ගනුදෙනු, ඇප වීම් වගේ සීන් තියා නොගන්න එක. හේතුව සරලයි. ෆේස්බුක් එක හරහා මනුස්සයෙක්ව අඳුනගන්න බෑ. අනික මේ වගේ “දෙනු” වලින් අපේ හිතුත් රිදිලා, පාඩුත් වෙලා ලව් එක ක්ලෝස් වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ හින්දා ෆේස්බුක් එක හරහා මේ මුණගැහෙන්නේ ජීවිතේට මහ බඹා නළලේ කොටපු අනාගත හස්බන්ඩ් නැතිනම් වයිෆ් වෙන්න පුලුවන්. හැබැයි ඒක මහපොළොවට ගෙනැල්ලා, දෙන්නට දෙන්නා අඳුනගෙන කරගෙන නිල වශයෙන් ආදර සම්බන්ධයකට යනකල් මේ විදියේ ගනුදෙනු සහ වෙන වෙන විදිවල ගනුදෙනු වුනත් තියා නොගන්න එක ලව් එකට හොඳයි.


දැන් අන්තිමට අපිට පුලුවන් මෙච්චර වෙලා කියපු දේවල් එක සරල තැනකට සාරාංශ කරන්න. ෆේස්බුක් හරහා දැන අඳුනගන්න කෙනෙක් එක්ක ලව් එකක් ගොඩදාගන්න කරන්න තියෙන හොඳම දේ තමයි ඒ ලව් එක සයිබර් අවකාශයෙන් මහ පොළවට ගේන එක. දෙන්නා ඇත්ත ජීවිතේ මුණගැහෙන්න ඕන. ආශ්‍රය කරන්න ඕන. ලව් එක ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙන්න දෙන්න ඕන.
මෙතැනදී ෆේස්බුක් එකෙන් මුණගැහිලා හිතවත් කමක් ඇතිකරගත්ත කෙනෙක්ව මුල් වරට ඇත්ත ජීවිතේදි මුණ ගැහෙනකොටත් හිතන්න, පරිස්සම් වෙන්න දේවල් ගොඩක් තියනවා. ඒ ගැන අපි ලියපු සවිස්තරාත්මක ලිපියත් මෙතැනින් කියවන්න අමතක කරන්න එපා.
ඉතින් අපි මේ කියපු උපදෙස් ගැන දැනුවත් වෙලා, ගොඩදාගන්න ලව් එකක් ගැන කමෙන්ට් එකක් දාලා අපිත් එක්කත් සතුට බෙදාගත්තට අවුලක් නෑ ඕං!